දිනූ නිදහස අර්ථවත් කිරීමට එක්ව නැගී සිටිය යුතුයි

දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස එක්ව නැගී සිටිය යුතුයි - ජනපති

by Staff writer 19-05-2020 | 7:23 AM

COLOMBO (News 1st) : දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ, ජාතික රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය. ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනගමින් රටේ ප්‍රතිලාභ පෙරටුකර බාහිර ලෝකය සමග බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතුව ඇතැයි ද ජනාධිපතිතුමා පවසයි. ජනාධිපතිතුමා පැවසුවේ කොරෝනා වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිදු විටක පසුබසින්නේ නැති බව ය. ජාතියේ අභිවෘද්ධිය අරමුණු කරගත් සැලසුම්, සෞඛ්‍ය සේවය, ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය. 2009 වසරේ මැයි 19 වැනිදා ජයග්‍රහණයෙන් අවසන් වූ සටන නියෝජනය කරන සියලු ජන කොටස්වල අපේක්ෂා යතාර්තයක් බවට පත් කිරීමට හැකිවීම රණවිරුවන් උදෙසා කළ හැකි මහඟු උපකාරයක් බව ද ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.