කළු ගඟ මිල්ලකන්දෙන් අවදානම් මට්ටමට

කළු ගඟ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 17-05-2020 | 7:22 AM

COLOMBO (News 1st) - කළු ගඟ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ගංගාවල ජල මට්ටම් මේ වනවිට පවතින්නේ සාමාන්‍ය අගයකයි. පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වේ. එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ මහනුවරයි. වැසි සහිත කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයටය. කෑගල්ල, ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ මිය ගියේ ය. කෑගල්ල, වල්දෙණිය ප්‍රදේශයේදී ද 65 හැවිරිදි කාන්තාවක් ඊයේ මිය ගියේ පස් කන්දකට යට වීමෙනි. වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසකට බලපැම් එල්ල වී තිබේ. මේ අතර දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තවදුරටත් මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ගිනිකොණ දිග බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්ත්වය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් වෙමින් පැවතීමත් සමගයි. 18 වැනි දා සිට 20 වැනි දා දක්වා කාලය තුළ උතුරට බරව ඊසාන දෙසට හැරී ගමන් කරන සුළි කුණාටුව බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි. ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සුළි කුණාටුව නම් කර ඇත්තේ 'අම්පන්' ලෙසයි. නැවත දැනුම්දෙන තුරු මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේය.