by Staff writer 16-05-2020 | 7:51 PM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය හේතුවෙන් හෙට(17) දිවයිනේ සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබේ.
සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේ දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවිසැල් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නියෝගය සෙසු ප්‍රදේශවල පරිදිම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද බලපැවැත්වෙන බව සැළකිය යුතු ය.
පසුදා එනම්, 18 වන සඳුදා දින සුරාසැල් විවෘත කිරීමට අවසර ලැබෙනුයේ 16 වන සෙනසුරාදා විවෘත කිරීමට අවසර දුන් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණි.
ඒ අනුව කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වයින් ස්ටෝර්ස් බලපත්‍ර හා බියර් හා වයින් බලපත්‍ර යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සඳහා සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර විවෘත කිරීමට අවසර ලැබේ.
කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයන් ඇතුළත පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයන්ට අදාළ වයින් ස්ටෝර්ස් බලපත්‍ර සහ බියර් හා වයින් බලපත්‍ර යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සඳහා මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථානවලට ද විවෘත කිරීමේ අවකාශය ලැබේ.
දිවයිනේ සියලුම ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි සැල් සඳහා පමණක් මත්පැන් තොග සැපයීමේ ර. බි. 03 හා අ. නි. 06 වර්ග වලට අයත් තොග බලපත්‍ර ලත් ස්ථාන විවෘත කිරීමටද අවසර ලැබෙනු ඇති.
ඉහත සඳහන් කළ තොග සහ සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ලත් ස්ථාන සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ සුරාබදු කොන්දේසිවලට අමතරව සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් හා විධිවිධාන යටතේ පමණක් බව සැළිකිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.