මිලිමීටර 200 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 200 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි

by Staff writer 15-05-2020 | 5:38 PM

COLOMBO (News 1st): දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ඉක්මවූ ඉතා තද වැසි අද රාත්‍රියේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊට හේතුවී ඇත්තේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිත වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයකි. නැගෙනහිර, උතුරු මැද ඇතුළු සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ධීවර කටයුතු සඳහා නැගෙනහිර මුහුදු ප්‍රදේශ භාවිත කිරීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙන්නේය. පවතින වර්ෂාවත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවය.