මහ බැංකුවෙන් විශේෂ නියාමන කිහිපයක්

මහ බැංකුවෙන් විශේෂ නියාමන කිහිපයක්

by Staff writer 14-05-2020 | 12:04 PM
COLOMBO (News 1st) : කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීම සඳහා විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. මෙම තීරණය ගනු ලැබ ඇත්තේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසිනි. මේ යටතේ බලපත්‍රලාභි බැංකුවල ඇතැම් අභිමතානුසාරි ගෙවීම් සීමා කිරීමට තිරණය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ බලපත්‍රලාභි බැංකුවල මුදල් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම , ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් නැවත මිල දී ගැනීම ,කළමනාකරණ දීමනා හෝ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ගෙවිම ඉහළ දැමීම නැවැත්වීමට නියෝග කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය. ඊට අමතරව බලපත්‍රලාභී බැංකු විසින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය නොවන සහ ප්‍රාග්ධන වියදම් සිදුකිරිමේදී හැකිතාක් දුරට විචක්ෂණ ශිලිවීම හෝ වැළකි සිටීම අවශ්‍ය වනු ඇති. දැනට පවතින වෙළදපොළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බැංකු සඳහා වාර්ෂිකව සිදු කෙරෙන ඇගයුම 2020 වසර සඳහා නොපැවැත්වීමට ද මුදල් මණ්ඩලය ගත් තීරණ අතර වේ. මෙම විශේෂ ක්‍රියාමාර්ග ඔස්සේ ආර්ථික කටයුතු යළි ප්‍රාණවත් කිරීම සඳහා බැංකු විසින් විචක්ෂණශීලිව අඛණ්ඩ ණය ප්‍රවාහ ආර්ථිකයට සපයනු ඇතැයි අපෙක්ෂා කරන බව ද මහ බැංකුව වැඩිදුරටත් අපේක්ෂා කරයි.