රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් CIDයට නියෝග

by Chathuranga Rajapaksha 13-05-2020 | 2:57 PM

COLOMBO (News 1st): ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ නියෝගය අවලංගු කර, ඔහු අධිරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට නියෝග කළේ, හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කර තිබූ ඇප නියෝගය සම්පුර්ණයෙන්ම දෝෂ සහගත බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරවරයා එකී නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළේය. සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවෙකු ලෙස නම් කර, අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක් ලබාගෙන විමර්ශන සිදුකරමින් සිටියදී විමර්ශන නිලධාරීන් හා අධිකරණය මගහැර සිටි අයෙකු බව පැහැදිලිව තොරතුරු හෙළිවී තිබියදීත් උගත් මහේස්ත්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කර ඇතැයි මහාධිකරණ විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය. විනිසුරුවරයා පෙන්වා දුන්නේ, එම සැකකරුගෙන් විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාගෙන හෝ ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන තෙක් ඇප ලබා නොදෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කර තිබූ ඉල්ලිම පවා නොතකමින් නිකුත් කර ඇති එම ඇප නියෝගය නීතිමය හා සිද්ධිමය වශයෙන් දෝෂසහගත වන බවය. ඇප නියෝගයේ පවතින දෝෂසහගත තත්ත්වය තම අධිකරණයෙ හෘද සාක්ෂිය කම්පනය වන තරම් ප්‍රබල වන නිසා ඇප නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අධිකරණය තීරණය කළ බව ද විනිසුරුවරයා එහිදී සඳහන් කළේය. මහාධිකරණය අද නිකුත් කළ එම නියෝගය සියලුම මහේස්ත්‍රාත් අධිකරණවලට මාර්ග උපෙදේශයක් සපයන පූර්වාදර්ශ නියෝගයක්වන බව එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එමගින් ඉදිරියේදී හෝ සැකකරුවෙකු කළ සැනින් රෝහල් ගතවන පුද්ගලයින්ගේ අනිසි ක්‍රියාදාමයන් වැළැක්වීමට හැකි වන්නේ යැයි අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තවේ නිලධාරීන් කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම නඩුවේ තුන්වැනි සැකකාර වෛද්‍ය රාජිත සේනාරත්න මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.