නඩු විභාගය අවසන් වනතෙක් කුරුණෑගලට ඡන්දය එපා

නඩු විභාගය අවසන් වනතෙක් කුරුණෑගලට ඡන්දය එපා - ඤාණසාර හිමිගෙන් අධිකරණයට පෙත්සමක්

by Staff writer 13-05-2020 | 6:37 PM
COLOMBO (News 1st): අපේ ජන බල වේගය පක්ෂය, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරූණෑගල දිස්ත්‍රික්කයෙන් පත්කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය. තමන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ, දිවුරුම් ප්‍රකාශයක පවතින දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වා දෙමින් කුරුණෑගල දිස්ත්‍රිකේ තේරීම් භාර නිලධාරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම තීරණය නිත්‍යානුකූල නොවන බවට තීරණය කර, බලශුන්‍ය කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, සිය පෙත්සම විභාගයට ගෙන අවසන් කර තීන්දුවක් ලබාදෙන තුරු කුරණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසය.