සමෘද්ධි දීමනා ගෙවීම ලබන 22 වන දා සිට

සමෘද්ධි සහ ජීවනෝපාය අහිමිවුවන්ගේ දීමනා ගෙවීම 22 සිට

by Staff writer 12-05-2020 | 12:45 PM
COLOMBO (News 1st) : සමෘද්ධි දීමනාව සහ ජීවනෝපාය අහිමිවූවන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබන 22 වනදා සිට ලබා දෙන බව, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය පවසයි. ඒ අනුව, ලබන 22 වනදා සිට 29 වනදා දක්වා අදාළ ගෙවීම් සිදුකරන්නැයි, ග්‍රාමීය කමිටු වෙත උපදෙස් දී තිබේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සඳහන් කළේ, සමෘද්ධී දීමනාව සහ ජීවනෝපාය අහිමිවුවන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව අප්‍රේල් මාසය සඳහා හිමිවු සියලු දෙනාට මැයි මාසය සඳහාත්, හිමිවන බවයි. එම ගෙවීම් ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ග්‍රාම කමිටුව විසින් නිවෙස් වෙත පැමිණ ලබා දිය යුතු බව ද, කාර්ය සාධන බලකාය පැවසී ය. මේ අතර, ආබාධිත, වකුගඩු, ගොවි සහ ධීවර රක්ෂණ, වැඩිහිටි දීමනාව සහ සියවස් පුර්ණ දීමනාව ගෙවීම ඊයේ ආරම්භ විය. එම ගෙවීම් කටයුතු ලබන 15 වනදා තෙක් ක්‍රියාත්මක බව, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සඳහන් කළේ ය.