ලෝක හෙද දිනය වෙනුවෙන් තබන සටහනක්

රෝගී හදවත් සුවපත් කරන්නට හෙද සේවකයින් දරන අපමණ වෙහෙසට අපගේ උත්තමාචාරය...!

by Staff writer 12-05-2020 | 8:38 AM
COLOMBO (News1st) : වෙදකම සහ හෙදකමේ අගය ලෝකයටම වැටහී ඇති කාලසීමාවක, ලෝක හෙද දිනය අදට යෙදී තිබේ. ඒ, ෆ්ලොරන්ස් නයිටිංගේල් හඳුන්වාදුන් හෙදකම, ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කරමිනි. ලෝකයට හෙදකම දායාද කළ ෆොරන්ස් නයිටිංගේල් මහත්මියට ගෞරවය පුද කිරීමක් ලෙස, මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ප්‍රකාශයට පත් කෙරිණ. ඒ, 1899 දී පිහිටවූ ජාත්‍යන්තර හෙද කවුන්සිලය ගත් තීරණයකට අනූව විධිමත් හෙද සේවාවක් ආරම්භ වීමත් සමග 1939 වසරේ සිට ශ්‍රී ලංකාව ද, හෙද දිනය සමරන්නේ ගිලනුන් වෙනුවෙන් දිවා රෑ නොබලා උවටැන් කරන, හෙද පරපුරට ගෞරවයක් ලෙසයි. හෙද හෙදියන්, කොරෝනා වසංගතයට එරෙහි සටනේ ඉදිරි පෙළ සොල්දාදුවන් වී සිටින්නේ සිය ජීවිත පවා උගසට තබමිනි. රාජකාරිය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ හදවත්වලින්, මෙරට සිටින 36000 ක් පමණ වූ හෙද හෙදියන් සිය කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ විවේකයක් හෝ නොලබමිනි. මාස දෙකකට අධික කාලයක් කිරි දරුවන්, වයෝවෘද්ධ මාපියන්, ආදරණීය ස්වාමි පුරුෂයන්, බිරින්ඳෑවරුන්ගේ පහසක් හෝ නොලබා ඔවුන් සිය රාජකාරිය, දේවකාරීය සේ ඉටු කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2020 වසර නම් කර ඇත්තේ ද, හෙද සහ පවුල් සෞඛ්‍ය සේවක වසර ලෙසයි. මෙවර හෙද දිනයේ තේමාව වන්නේ, විශ්වීය සෞඛ්‍ය වෙනුවෙන් හෙද නායකත්වය යන්නයි. නයිටිංගේල් මහත්මියගේ 200 වැනි ඡන්ම දිනය යෙදෙන අද, රෝගී හදවත් සුවපත් කරන්නට හෙද සේවකයින් දරන්නා වූ අපමණ වෙහෙසට අපගේ උත්තමාචාරය...! https://www.facebook.com/NewsfirstSL/videos/1126107797722705/