by Staff writer 12-05-2020 | 8:07 AM
COLOMBO (News 1st) : කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කරගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අමාත්‍යංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූ බවයි.
ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග මෙතෙක් ඇණහිට තිබු සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබේ.
ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ විදෙස් ණය නොගෙන ආයෝජනවලින් පමණක් නව සංවර්ධන වැඩ සිදුකළ යුතු බවයි.
සියලු ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියකට අනුකූල විය යුතු බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර හා බටහිර පර්යන්ත සංවර්ධනය කඩිනමින් ඇරඹීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමුවු බව සඳහන් ය.
විදේශවල සිට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සියලු පහසුකම් සහිත නිවාස ඉදිකර කුලී පදනම මත ලබාදීමේ වැඩසටහනක් කෙරෙහි ද මෙම හමුවේදී අවධානය යොමුව තිබේ.
විවිධ හේතුන් මත ඉදිකිරීම් නතර කර ඇති කොළඹ නගරය ආශ්‍රිත මහා පරිමාණ ගොඩනැගිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් යළි අරඹන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව සඳහන් ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ප්‍රයෝජනයට නොගත් භූමි හඳුනා ගනිමින් සංවර්ධනය කර ඇති මං තීරු දෙපස පරිසර හිතකාමී කෘෂි කටයුතු ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා වූ බවයි.