by Staff writer 12-05-2020 | 12:56 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සම්බන්ධයෙන් විවාදය ලබන සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
පෙත්සම් ගොනු කර ඇත්තේ, 2019 අප්‍රේල් 21 වැනිද අන්තවාදින් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා විශේෂ ආරක්ෂක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක ඇතුළු පිරිසකට එරෙහිවයි.
මින් පෙර අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැණුනු එම පෙත්සම් අද දින බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබී ය.
ලබන සැප්තැම්බර් 02, 03 හා 04 යන දින තුනෙහි ඒ සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට තීරණය කළ විනිසුරු මඩුල්ල ජූලි 30 වැනිදාට පෙර ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද සියලු පාර්ශවවලට නියෝග කළේ ය.
පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
එම වගඋත්තරකරුට භාර දීමට නියමිත ලේඛන ජනාධිපති නීතිඥවරයාට භාර දෙන ලෙසට විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවවලට නියෝග කළේ ය.
බෝම්බ ප්‍රහාර එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ආරක්ෂක අංශ නිලධාරීන් සහ දේශපාලන අධිකාරියට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පූජකවරුන් හා සිවිල් සංවිධාන නියෝජනය කරන පුරවැසියන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පෙත්සම් ගොනුකර තිබේ.