කොරෝනා ආසාදිතයින් ලක්ෂ 40 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 40 ඉක්මවයි

by Staff writer 09-05-2020 | 8:05 AM
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ලොව පුරා පවතින එදිරිවාදිකම් අවසන් කරන ලෙස ඉල්ලා ,එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ කෙටුම්පත සම්මත කරගැනීම, අමෙරිකාව වළක්වනු ලැබී ය. ඒ ආරක්ෂක මණ්ඩලය හමුවේ ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබියදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කෙටුම්පතෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිබඳ සඳහන්ව ඇති බැවින් අමෙරිකාව එය අවහිර කිරීමට පියවර ගත් බවයි. රජයන්ට කොරෝනා මර්දන පිළිවෙත් අනුගමනය කිරීමට පහසු වන ලෙස ලොව යුද කලාපවල පවතින ගැටුම් නිමා කරන්නැයි මෙම කෙටුම්පතෙහි සඳහන් වී තිබිණ. මේ අතර ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 40 ලක්ෂය ඉක්මවා ගියේ ය. කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ හය දහසකට ආසන්නයි. කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්‍යාව ද දහතුන් ලක්ෂ අසු තුන් දහසකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉකුත් පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන් වන අතර එය සටහන් වූයේ 1649 ක් ලෙසයි. ඒ අනුව කොරෝනා ආසාදනයෙන් අමෙරිකාවේ මේ වනවිට මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 78 577කි. ඉතාලියේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 30 000 ඉක්මවීමත් සමග යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ රට බවට ඉතාලිය පත්විය. මේ වනවිට ඉතාලියේ වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට පැනවූ නීති ලිහිල් කෙරෙමින් පවතින නමුත් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මිලාන් නගරය යළි වෛරස් ග්‍රහනයට ලක්විය හැකි කාල බෝම්බයකට සමාන බවයි. ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් වන්නේ අමෙරිකාව , බ්‍රිතාන්‍යය සහ ඉතාලියයි. නව මරණ 626 ක් වාර්තා වීමත් සමග බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 31 241 ක් දක්වා ඉහළ ගියේ ය. මේ හමුවේ දෙවන ලෝක යුද්ධය නිමා වී වසර 75 ක් සම්පූර්ණ වන අවස්ථාව සනිටුහන් කිරීමට ජාතිය ඇමතූ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ජනතාවගෙන් ඉල්ලා සිටියේ කෙදිනකවත් උත්සාහය අත්නොහරින ලෙසයි. පවතින තත්ත්වය හමුවේ පිටස්තර රටවලින් යුරෝපා කලාපයට ඇතුළුවීමට පනවා ඇති සංචාරක තහනම ලබන මස මැදභාගය වන තෙක් ක්‍රියාත්මක වනු ඇතැයි යුරෝපා සංගමය නිවේදනය කළේ ය.