ගම්මැද්ද ගෙයින් ගෙට 4වන අදියරේ වාර්තාව එළිදක්වයි 

ගම්මැද්ද ගමින් ගමට සිව්වන වසරටත්: නව වාර්තාව එළිදක්වයි

by Staff writer 08-05-2020 | 4:56 PM
ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතියේ සිව්වැනි අදියරේ වාර්තාව අද(08) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය උපුල් දිසානායක මහතා විසින් එම විශ්වවිද්‍යාලයේ නුවර පිහිටි පරිශ්‍රයේදී එළිදැක්විය. ඒ, කොළඹ ගම්මැද්ද කණ්ඩායමත් සමග ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි. ගිය වසරේදී මෙම ව්‍යාපෘතියේ 3වන වාර්තාව කොළඹ, බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) පරිශ්‍රයේදී එළිදැක්වුවත් මෙවර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන අතර ගම්මැද්ද ව්‍යාපෘතියේ සැලැස්මට අනුගත වීමට ඇති අවශ්‍යතාවය හෙයින් මෙසේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තාව ප්‍රසිද්ධියට පත්කෙරිණි. ගම්මැද්ද කණ්ඩායම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් රටේ සිව්දෙස ගම්මාන තුළ ගෙයින් ගෙට ගොස් එහි සැබෑ ජීවන තත්ත්වය පිළිබඳ තොරතුරු එකතු කර ඇති අතර මෙය මෙසේ සිදුවන්නේ 4වැනි වරටයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය උපුල් දිසානායක මහතා කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ නිව්ස්ෆස්ට් සමග සම්බන්ධ වී මෙම ව්‍යාපෘතියේ නියැලෙන්නට ලැබීම සතුටට කරුණක් බවය. තවද පාර්ශව දෙකේ කැපවීම තුළින් මෙය ජනතාවට සාධනීය අස්වැසිල්ලක් ලැබෙන බව ද ඔහු සඳහන් ක‍ළේය. මෙම වාර්තාව සැකසීමට එක්රැස් කරන ලද තොරතුරු ගැඹුරු අධ්‍යනයකට ද ලක් කෙරිණි. 2016 පළමුවරට ආරම්භ කළ මෙම වැඩසටහන ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩප හඳුන්වා දී දශකයකට පසුව ආරම්භ කළේය. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමසේවා වසම් 14,000කට අධික සංඛ්‍යාවෙන් බහුතරයක් ආවරණය කිරීමට දැනට හැකි වී තිබේ. මේ වනවිට මෙසේ සංචාරය කරන ලද ගම්මාන තුළ ගම්මැද්ද සවිය සංවිධාන ස්ථාපිතක කොට ඒ හරහා කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලත් සමග එක්කාසු වී එකී ගම්මාන තුළ ඇති ප්‍රශ්න විසඳීමට විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇත. එක්රැස් කර ඇති මෙම දත්ත සාරංශ ගතකර ගම්මැද්ද ප්‍රධාන කාර්යාලය හරහා සාමාන්‍ය ජනතාවට ද මෙම ව්‍යාපෘති සමග එකතුවීමට අවස්ථාව සලසා දී ඇත. ගම්මැද්ද ගෙයින් ගෙට වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, බ්‍රවුන් විශ්වවිද්‍යාලය සහ මැරිලන්ඩ් විශ්වවිද්‍යාලය වැනි ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනවල පැසසුමට ලක්ව ඇති අතර මෑතකදී ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් පාසල සමග එකඟතාවයකට ද එක්විය. කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා සඳහන් කළේ, මෙම වාර්තාවත් සමග නව ආරම්භ 2ක් සනිටුහන් වන බව ය. ඉන් එකක් වන්නේ, සමාජ සත්කාර ව්‍යාපෘති සැලසුම් කිරීම වන අතර අනෙක වන්නේ ඊළඟ ගෙයින් ගෙට වැඩසටහන සැලසුම් කිරීමයි. එයට හේතුව වන්නේ, ඉගෙනීම අවසන් වන්නේ නැත, ජනතාවට සවන්දීම අවසන් වන්නේ නැත, සමාජ හා පොදු සේවයේ ප්‍රධාන සංකේත දෙපළ එය වීමයි.

ගම්මැද්ද ගෙයින් ගෙට සිව්වැනි අදියරේ වාර්තාව කියවීමට පිවිසෙන්න