අපේක්ෂා රෝහලට ප්‍රවාහන පහසුකම්

අපේක්ෂා රෝහලට සායන සඳහා එන ජනතාවට ප්‍රවාහන පහසුකම්

by Staff writer 08-05-2020 | 4:17 PM

COLOMBO (News 1st) - දුරබැහැර සිට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයන ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අපේක්ෂා රෝහලට පැමිණෙන ජනතාවට ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අපහසුතාවෙන් පෙලෙන බවට රෝගීන් විශාල පිරිසක් අමාත්‍යවරයාට පැමිණිලි කර ඇති බවය. එම රෝගීන්ට මහරගම අපේක්ෂා රෝහලට පැමිණීමටත් නැවත සිය නිවෙස් වෙත යාම සඳහාත් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබ තිබේ. දැනට මාස දෙකක කාලයක සිට එම පිරිස සායන සඳහා පැමිණීමේ අපහසුතාවෙන් පෙළෙන බවට වාර්තාවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.