ද. ආසියා රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළට

පකිස්ථානය, නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශයේ කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 07-05-2020 | 11:41 AM

News 1st - දකුණු ආසියානු රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ, පකිස්ථානය, නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් වාර්තාවන නව ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. මේ අනුව ඉකුත් පැය 24 තුළ පකිස්ථානයේ පුද්ගලයන් 40 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් වූ අතර එරටින් නව ආසාදිතයන් 1049 දෙනෙකු පිළිබඳව ද වාර්තා විය. මේ වනවිට පකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 22000 ඉක්මවා ඇති නමුත් ලබන 10 වැනි දා සිට සිය දුම්රිය සේවා යළි අරඹන බව පකිස්ථාන රජය සඳහන් කළේ ය. මේ අතර බංග්ලාදේශයෙන් ද නව ආසාදිතයන් 790 දෙනෙකු වාර්තා වීමත් සමග එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11000 ඉක්මවා ගොස් තිබේ. නේපාලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 82 ක් දක්වා ඉහළ යාමත් සමග ලබන 18 වැනි දා දක්වා රට වසා තැබීමට බලධාරීන් තීරණය කළේ නේපාලය වසා දැමූ කාලසීමාව තවදුරටත් දීර්ඝ කරමිනි. ඉන්දියාවේ දිල්ලියෙන් නව කොරෝනා ආසාදිතයන් 428 දෙනෙකු වාර්තාවීමත් සමග එම ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5500 ඉක්මවා ගොස් ඇත.