හමුදා කැබ් රථයක් පෙරළී සෙබළෙකු මිය යයි

ගිරිතලේ වැව්තාවුල්ලට හමුදා කැබ් රථයක් පෙරළීමෙන් සෙබළෙකු මිය යයි

by Staff writer 07-05-2020 | 3:47 PM

COLOMBO (News 1st) - හමුදා කැබ් රථයක් අද අලුයම පොළොන්නරුව, ගිරිතලේ වැවු තාවුල්ලට පෙරළීමෙන්, එහි ගමන් කළ සෙබළෙකු මිය ගියේය.

අප වාර්තාකරු පැවසුවේ තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. ගිරිතලේ යුද හමුදා පොලිස් හේවා බලකායේ සෙබළුන් පිරිසක්, කාර්මික දෝෂයට ලක්වුණ යුද හමුදා රථයක් අලුත් වැඩියා කිරීම සඳහා මෙම කැබ් රථයෙන් ගොස් තිබුණි. පොලීසිය පැවසුවේ ඔවුන් යළි පැමිණෙද්දී, කැබ් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක වැදී පෙරළී ඇති බවයි. මේ අනතුරින් මිය ගිය සෙබළා රුවන්වැල්ල, ගල්පාත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක දෙදෙරු පියෙකි. ඔහු යුද හමුදා පොලිස් සේවා බලකායේ කෝප්‍රල්වරයෙකි. තුවාල ලැබූ සෙබළුන් මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, කැබ් රථය පැදවූ සෙබළා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.