ජනපති/අගමැති/හිටපු විපක්ෂ නායකගේ වෙසක් පණිවුඩ

කොරෝනා නිවාරණ පිළිවෙත් සුරකමින් රටත්, ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගන්න - ජනපති

by Staff writer 07-05-2020 | 7:18 AM

COLOMBO (News 1st) - වෙසක් සමයේ බොදු පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළිවෙත් ද පිළිපදිමින් රටත්, ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වෙසක් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා පවසන්නේ, මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන්ගෙත්, ලෝවැසි ජනතාවගේත් නිදුක් නිරෝගී දිවියට හා අධ්‍යත්මික සැපතට හේතුවේවා යන්නය. මානව සංහතිය බරපතළ වසංගතයකට මුහුණ පා ඇති මොහොතක මෙවර වෙසක් උළෙල සමරන බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් සිහිපත් කරයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙසක් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, කොරෝනා වසංගතයට එරෙහි ජයග්‍රහණය ලැබීමට බෞද්ධයන් පුරුදු පුහුණු කළ හික්මීම හේතුවනු ඇති බවය. එබැවින් මෙම වෙසක් සමයේ සිත, කය , වචනය යන තුන්දොර හික්මවා උපේක්ෂාවෙන් සිය ජීවිතය දෙස හැරී බලන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ය. තව ද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ලෝකවාසීන් වෙහෙසෙන මෙම ව්‍යාකූල අවස්ථාවේදී පවා බුදුන්වහන්සේගේ ධර්මයේ යථාර්ථය ඉස්මතු වන බවයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සමාජ දුරස්ථභාවය රැකගනිමින් හදවත සහ නිවස පන්සලක් කොට උතුම් තෙමගුල සමරන්නැයි සජිත් ප්‍රේමදාස සිය වෙසක් දින පණිවුඩයෙන් ඉල්ලීමක් කර තිබේ.