බස්නාහිර සිර වී සිටි තව ත් 500 ක් අද ගම්බිම් වෙත

මාර්තු 20 වැනි දා සිට මේ දක්වා පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 46397 ක් අත්අඩංගුවට

by Staff writer 05-05-2020 | 7:16 AM

COLOMBO (News 1st) - මාර්තු 20 වැනි දා සිට මේ දක්වා කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46397 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යව 12049 කි. මේ අතර කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද අලුයම 5 ට යළිත් පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරුණි. යළිත් එම ප්‍රදේශවලට අද රාත්‍රී 8 ට පොලිස් ඇඳිරි නීතිය පනවා හෙට අලුයම 5 ට ඉවත් කිරීමට නියමිතය. හෙට (6) රාත්‍රී 8 සිට 11 වැනි දා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේ ය. මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ලබන සඳුදා (11) සිට ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල නිවෙස්වලින් පිටව යාම සඳහා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පාදක කර ගනිමින් දින වෙන්කර ඇති බවයි. කෙසේ වෙතත් රැකියා සඳහා යන පුද්ගලයින්ට මෙය අදාළ නොවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. බස්නාහිර පළාතේ සිර වී සිටින තව ත් පුද්ගලයින් 500 දෙනෙකු අද සිය ගම්බිම් බලා පිටත් කර හරින බව පොලීසිය පැවසීය. නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පිරිසක් එලෙස පිටත් කර හරින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.