ඡන්දය නොව කොරෝනා පාලනයට අවධානය යොමු කළ යුතුයි

මැතිවරණය ගැන කතා කිරීම බැහැර කර කොරෝනා වසංගතය පාලනය කිරීමට අවධානය යොමු කළ යුතුයි

by Staff writer 04-05-2020 | 10:30 AM

COLOMBO (News 1st) - මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන් බැහැර කර මෙම අවස්ථාවේදී කොරෝනා වසංගතය පාලනය කිරීමටත්, ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොරෝනා උවදුර පසෙක තබා දේශපාලනය කතා කිරීම යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම යොදා කොරෝනා මර්දන ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. මෙම ජාතික ආපදාව මධ්‍යයේ වුවද විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවටත්, අප්‍රේල් 30 වැනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්දන ව්‍යාපෘතිය ඇතුළු රජයේ සේවාවන් පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීමට නීතිමය බලයක් නොමැති බවටත් විපක්ෂය අරගල කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේය. එම නිවේදනයේ දැක්වෙන්නේ, පරණ පාර්ලිමේන්තුව යළි රැස් නොකළහොත්, ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩු පාර්ශවයේ පිරිසගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවට විපක්ෂය මත පළ කරන බවයි. ව්‍යවස්ථාවේ 150 (3 ) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන්කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලයක් ඇති බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.