COLOMBO (News 1st) - 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්රියා පටිපාටිය අනුගමනය කරමින් ක්රියා කරන්නැයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අද දැනුම් දුන්නේ ය.
නීතිපතිවරයා මේ දැනුම්දීම කළේ නාම යෝජනා භාරගත් දින කිහිපයක් රජයේ නිවාඩු දින ලෙස ප්රකාශයට පත්කර තිබීම නිසා නීතිමය බාධාවන් ඇත්දැයි කොමිසමේ සභාපතිවරයා කළ විමසීමට පිළිතුරු දෙමිනි.
මෙවර මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගත් මාර්තු මාසයේ 17, 18 සහ 19 යන දින රජයේ නිවාඩු දින ලෙස ගැසට් මගින් නිවේදනය කර තිබුණි.
එම නිසා නාම යෝජනා පිළිගැනීමට මැතිවරණ කොමිසමට නීතියෙන් බාධාවක් ඇත්දැයි මතුවූ සංවාදය නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊයේ ලිඛිතව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා තිබුණි.
අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබුනේ නීතියේ ඊට අදාළ කරුණු තමන් සළකා බැලූ බවයි.
මීට අමතරව 2020 මහ මැතිවරණය සඳහා කොමිසම දැනටමත් නාමයෝජනා පිලිගෙන ඇති අතර ඊට අදාළ මූලික පියවරද දැනටමත් ගෙන ඇතැයි තමන් නිරීක්ෂණය කළ බවද නීතිපතිවරයාගේ ලිපියේ සඳහන් වේ.
එම නිසා මේ පසුබිම තුළ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්රියා පටිපාටිය අනුගමනය කරමින් ක්රියා කරන්නැයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට වැඩි දුරටත් දැනුම්දී තිබේ.
colombo:
කොළඹ
English - Sinhala