කොරෝනා ඖෂධයකට අමෙරිකාවේ අනුමැතිය

කොරෝනා මර්දනයට යොදාගත හැකි ඖෂධයකට අමෙරිකානු රජයේ අනුමැතිය

by Staff writer 02-05-2020 | 8:34 AM

News 1st - කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි ඖෂධයකට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය සිය හදිසි අනුමැතිය ලබාදී තිබේ.

ඉබෝලා වෛරසය සඳහා යොදා ගත් ඖෂධයක් වන මෙය තවදුරටත් වැඩි දියුණු කරමින් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකිදැයි පරීක්ෂණ මට්ටමේදී අත්හදා බැලුණි. කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ දින 15 සිට 11 දක්වා අඩු කිරීමට එම ඖෂධයට හැකියාවක් පවතින බව පරීක්ෂණවලදී අනාවරණය විය. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, පළමු අදියර යටතේ අදාළ ඖෂධ කුප්පි මිලියන 1.5 ක් රෝගින්ගේ ප්‍රතිකාර සඳහා ලබාදී ඇති බවයි. ඒ අනුව ලබන සඳුදා (04) සිට එම ඖෂධය අමෙරිකාව පුරා බෙදා හැරීමට සැළසුම් කර තිබේ. කෙසේ වෙතත් චීන පරීක්ෂණ කණ්ඩායමක් මෙම ඖෂධයේ භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර පර්යේෂකයින් මීට පෙර කියා සිටියේ අදාළ ඖෂධයෙන් පමණක් කොරෝනා වෛරසය පාලනය කළ නොහැකි බවයි. ගත වූ පැය 24 තුළ නව මරණ 1,892 ක් වාර්තා වීම හමුවේ අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 65,748 ක් දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එකොලොස් ලක්ෂ තිස් එක්දහස් පහලොවකි. මේ අතර ගෙවුණු පැය 24 තුළ නව මරණ 739 ක් සිදුවීම හමුවේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 27,000 ඉක්මවා ගියේ ය. මේ වනවිට එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තැ හත් දහස් හාරසිය පනස්හතරක් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය දෛනික පරීක්ෂා කිරීම් ලක්ෂයේ සීමාවට ළඟාවීමට සමත්ව ඇති බවයි. මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන කොරෝන අසාදිතයින් සංඛයාව 37,257 ක් දක්වා ඉහළ ගොස් ඇත. එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,223 කි. මේ හේතුවෙන් ලබන 4 වන දා සිට තවත් සති දෙකකින් රට වසා දැමීමේ ක්‍රියාවලිය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. මේ වනවිට ලොව පුරා කොරෝනා අසාදිතයින් තිස් තුන් ලක්ෂ අනුඅට දහස් හාරසිය පනස්අටක් සහ මරණ 239,443 ක් වාර්තා වේ.