දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පිළිබඳ සටහනක්

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පිළිබඳ සටහනක්

by Staff writer 01-05-2020 | 10:41 PM
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණ සමරුවත් අදට යෙදී තිබේ. කොළඹ මහනගර සභාවේ සභිකයෙකු ලෙස දේශපාලනයට පිවිසී රටේ දෙවන විධායක ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමට තරම් සංයමයක් තිබූ අද්විතීය නායකයෙකි. ඒ නිසාම රණසිංහ ප්‍රේමදාස මහතාට ජන හද ගැස්ම හඳුනා ගැනීමට අමුතුවෙන් ඉගැනීමට දෙයක් නොතිබිණ. කොළඹ, කෙසෙල්වත්ත, සාන්ත බස්තියම කේන්ද්‍රකරගෙන ඔහු ගොඩ නැගූ ශ්‍රී සුචරිත ව්‍යාපාරය ප්‍රේමදාස චින්තනය ජාතික නායකයෙකු දක්වා ගොඩ නැගීමට හේතුවිය. ඒ.ඊ. ගුණසිංහ මහතාගේ කම්කර පක්ෂයෙන් 1955 දී කොළඹ මහනගර සභාවට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතාට මුල් අවස්ථාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය හිමිවිය. ඔහු ජාතික දේශාපාලනයට පිවිසෙන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි. ඩඩ්ලි සේනානායක මහතාගේ අරයුමෙන් එක්සක් ජාතික පක්ෂයට එක්වූ ඔහු 1956 මැතිවරණයට රුවන්වැල්ල ආසනයෙන් තරග කරන්නේ මෙරට දේශාපාලනයේ පතාක යෝදයෙකුවූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා සමගයි. එම මැතිවරණ පරාජයෙන් නොසැළුණු රණසිංහ ප්‍රේමදාස මහතා රට පුරා පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් ගම් නියම් ගම් එක්සත් ජාතික පක්ෂය වටා පෙලගැස්වීමට පියවර ගත්තේ ය. 1960 මාර්තු මහමැතිවරණයෙන් ජයගත් රණසිංහ ප්‍රේමාදාස මහතා පාර්ලිමේන්තු වරම් හිමිකරගත් නමුත් එම වසරේ ජුලි මාසයේ නැවත පැවති මැතිවරණයෙන් පරාජයවී කොළඹ . කුරුඳුවත්ත ආසනයෙන් නැවත මහනගර සභාවට තරග කර එහි සභිකයෙකු පත්විය. 1965 සිට නැවත ජයග්‍රාහී මාවතට පිවිසි රණසිංහ ප්‍රේමදාස මහතා 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පළමු විධායක ජනපති වෙද්දී රටේ අගමැති ධුරයට පත්විය. 1977 එක්සත් ජාතික පක්ෂයට හනේ පහක බලයක් බලාගැනීම සඳහා ගම් නියම්ගම්වල සැරිසරමින් පාක්ෂියකයින් එක් කිරීමට ප්‍රධාන හේතුවක් වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ චතුර කථිකත්වයයි. විධායක ජනාධිපතිවරයෙකු යටතේ වුවත් අගමැති ධුරයට නව මුහුණුවරක් ලබාදුන් ඔහු රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී වැඩ සටහන් ගනනාවක් හඳුන්වා දුන්නේ ය. වසර දෙදහසේදී සැමට සෙවන සංකල්පය ඔස්සේ ගම් උදාව, ආදර්ශ ගම්මාන, උදාගම් වැඩසටහන යන ව්‍යාපෘති ඔස්සේ රටේ ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා මුල පිරුවේ ය. 1987 ජගත් නිවාස වසර ලෙස එක්සත් ජාතීන් ප්‍රකාශයට පත්කලේ ප්‍රේමදාස මහතාගේ සංකල්පයට අනුවයි. 1988 දෙසැම්බර් 21 වනදා විශිෂ්ට ජනතා ජයග්‍රහණයකින් දෙවන විධායක ජනාධිපති ධුරයට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතා එක් මොහොතක් හෝ අපතේ නොයවා සිය මහජන සේවය තවදුරටත් පුළුල් කළේ ය. ජනාධිපතිවරණයේදී දුන් මූලික පොරොන්දුවක්වූ ඉන්දීය සාම සාධක හමුදා ආපසු යැවීමට රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයේ දිවුරුම්දීමෙන් පසුව පසුබට නොවී ය. රටේ ජනතාව දිළිඳුකමින් මුදා ගැනීම සඳහා ජනසවිය වැඩ සටහන හඳුන්වාදුන් ප්‍රේමදාස ජනාධිපතිවරයා දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් පාසැල් දිවා ආහාර වැඩපිළිවෙළ ද හඳුන්වා දුන්නේ ය. එවක රටේ පැවති ගැටලු නිරාකරණය සඳහා අවශ්‍ය විසඳුම් හඳුනා ගැනීමට තරුණ අසහන කොමිසමක් පත්කළ රණසිංහ ප්‍රේමදාස මහතා එහි නිර්දේශ මත රජයේ තනතුරු සඳහා තරග විභාගවලින් පමණක් සුදුස්සන් තෝරා ගැනීමට තීරණය කළේ ය. සුලු පක්ෂවලට සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථා පුළුල් කළේ, මේ කොමිසමේ නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. රටේ තරුණ විරැකියාව තුරන් කිරීමට කර්මාණ්ත ගමට ගෙන ගිය ප්‍රේමදාස මහතා ආයෝජන ප්‍රවර්ධන කලාපවලින් ඔබ්බට ඇගලුම් කම්හල් ව්‍යාප්ත කළේ ය. ඇගලුම් කම්හල් 200 ක් ගමට ගෙන යන සංකල්පය ඔස්සේ ආරම්භවූ කර්මාණ්ත ශාලාවල අදටත් දහස් ගණනක් රැකියා කරමින් සිටී. තේ, පොල් සහ රබර් යන සාම්ප්‍රදායික අපනයන මත යැපුණු රටේ ආර්ථිකය කාර්මික නිෂ්පාදන ක්‍රියාවළියකට යොමුකළ රණසිංහ ප්‍රේමදාස මහතා දේශීය ව්‍යාපාර දිරි ගන්වමින් කර්මාණ්ත නගා සිටවූ ආකාරයද ප්‍රශංසනීයයි. රටේ සුබ සාධනය වෙනුවෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ, දැඩි අභියෝග මැදයි. දිගු දැක්මකින් රට මෙහෙයවමින් සිටි රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි පළවනදා කම්කරු දින පෙළපාලියට සූදානම්වෙමින් සිටියදී කොළඹ ආමර් වීදියේදී ඝාතනය කෙරිණ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දිවි ගමන සදහටම නවතා දැමුවත් ඔහු රටේ ජනතාව වෙනුවෙන් ගොඩ නැගූ දැක්ම සදා අමරණීයයි. අද ඔහුගේ ගුණ සැමරුම වෙනුවෙන් අලුත්කඩේ පිළිරුවට පවුලේ ඥාතීන් පුෂ්පෝපහාර පුද කළේ ය. ප්‍රේමදාස ගුණ සමරමින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකෙරිණ. සජිත් ප්‍රේමදාස මහතා මාලිගාවත්ත ජාතික වෘක්කවේදී කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනයට අද රුධිර පිරිසිදු කිරීමේ යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේ, සිය පියාණන්ගේ ගුණ සමුරුවට සමගාමීවයි. https://www.facebook.com/NewsfirstSL/videos/854898621684652/