by Staff writer 01-05-2020 | 1:22 PM
COLOMBO (News 1st) : දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී සිදු කෙරිණි.
ඒ, ප්‍රේමදාස මහතාගේ පුත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පවුලේ සමාජිකයින් මෙන්ම දේශපාලඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.
කොළඹ නගර සභාවට තරග කරමින් සිය දේශපාලන දිවිය ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු , අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ද ශ්‍රී ලාංකේය සමාජයට කළ මෙහෙය සුවිශේෂී ය.
සැමට සෙවණ සංකල්පය යටතේ ඔහු ආරම්භ කළ උදා ගම්මාන ව්‍යාපෘතිය දෙස් විදෙස් බොහෝ පිරිසකගේ ඇගයීමට ලක්වූයේ එකළ එහි තිබූ කාලීන වැදගත්කම හේතුවෙන් ය.
දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වූ "ජනසවිය", ව්‍යාපෘතිය මෙන්ම පාසැල් දරුවන්ට දිවා ආහාරය හා නිල ඇඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ ද ඒ මහතාගේ දේශපාලන දිවියේ සුවිශේෂී තීරණ අතර වේ.
1993 වසරේ කම්කරු දින පෙළපාලිය අතරතුර කොළඹ ආමර් විදියේදී LTTE සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනපේක්ෂිත ලෙස දැයෙන් සමුගත් රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට ජන හදවත් තුළ සදා අමරණීය නායකයෙකි.