මංගල සමරවීරගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු

මංගල සමරවීරගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු

by Staff writer 30-04-2020 | 10:34 PM

COLOMBO (News 1st): හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එවා තිබු ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ.

එම ලිපියේ සඳහන් කරුණු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක අන්තර්ගතයි. මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති ලිපියේ දැක්වේ. පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150-3 වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස් වී මාස 3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව ජයසුන්දර මහතා පෙන්වා දී ඇති ප්‍රධාන කරුණයි. නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය ප්‍රතිපත්තිය කොට ගත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මැතිවරණය පවත්වා ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිතුමා කණස්සල්ල පළ කරන බව ද ජනපති ලේකම්වරයා සිය ලිපියේ දක්වා තිබේ. නිරීක්ෂණ 7 ක් යටතේ කරුණු සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා මංගල සමරවීර මහතා වෙත මෙම ලිපිය යවා ඇති අතර, වැරදි තොරතුරු ගොනුකර එවැනි ලිපියක්, හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කිරීම කණගාටුදායක යැයි දන්වන ලෙස ජනාධිපතිතුමා තමාට උපදෙස් දුන් බව ද මෙහි සඳහන් ය. මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි කාලය ද ඇතුළත්ව රුපියල් බිලියන 182 ක හිඟ බිල්පත් හා රුපියල් බිලියන 211 ක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට, වත්මන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් මහුතර ජනතාවගේ ජනවරම නොසළකා හැරීම කණගාටුවට කරුණක් බව ද ලිපියෙන් දැනුම් දී තිබේ. මෙම ලිපිය යවා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට, හිටපු කතානායකවරයාට සහ පක්ෂ නායකයින් 6 දෙනෙකුටද පිටපත් යොමු කරමිනි.