COLOMBO (News 1st) : බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ සහකාරිය කැරී සිමන්ඩ්ස් මා පිය පදවිය ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද අලුයම ලන්ඩනයේ රෝහලකදී කැරී සිමන්ඩ්ස් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති බවයි.
මෙම සුබ පණිවුඩය නිවේදනය කරමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු පවසන්නේ, මව සහ බිළිඳා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
55 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා සහ 32 හැවිරිදි සහකාරිය පසුගිය වසරේ අවසන් භාගයේදී විවාහ ගිවිස ගත් අතර ඔවුන් දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කරනු ලැබුවේ, පසුගිය මාර්තු මාසයේදී ය.
අද උපන් බිළිදා සහකාරිය කැරී සිමන්ඩ්ස් සහ අග්‍රාමාත්‍යවරයාගේ පළමු දරුවා වුව ද ආග්‍රාමාත්‍යවරයාට පෙර විවාහයන්හි දරුවන් සිව් දෙනෙක් සිටිති.
මේ අතර පිය පදවියට පත් අග්‍රාමාත්‍යවරයාට ලෝක නායකයින් ඇතුළු කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් ද සුබ පැතුම් එක් කර තිබේ.
මේ අතර බ්‍රිතාත්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගිය මාර්තු මාසයේදී ලෝකයම ගිල ගනිමින් සිිටින කොරෝනා වෛරසයට ගොදුරුවීම මුළු ලෝකයේම දැඩි අවධානයක් යොමු වූ පුවතක් බවට පත් විය.
එම අවස්ථාවේ කැරී සිමන්ඩ්ස් ද රෝග ලක්ෂණ පෙන්වා තිබිණ.
පසුගිය මාර්තු 27 වැනිදා වන දා ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබූ අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 12 වනදා රෝහලෙන් පිටව ගියේ ය.
තවත් දින කිහිපයක් නිවසේ රැඳී සිටි අග්‍රාමාත්‍යවරයාට ඊයේ (27) සිට යළි රාජකාරී ආරම්භ කර තිබේ.
