ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 29-04-2020 | 6:40 PM
COLOMBO (News 1st) : හෙළ සිනමාවේ සටන් කලාවට නව මුහුණුවරක් එක් කළ ප්‍රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී. ප්‍රබල මල්ලව පොර ශූරයෙකු ලෙස ජනාදරයට පත්ව සිටි ඔහු මියයන විට 80 වැනි වියෙහි පසුවිය. 1962 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ඔහු ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන්නේ මල්ලව පොර තරග අංශයෙනි. ඔහු, 1969 වසරේ සිට මෑතක් වනතුරු අපරාජිත මල්ලවපොර ශූරයාට හිමි වාර්තාවට ද හිමිකම් කීවේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතායි. ඔහු රංගන දායකත්වය දී ඇති සිනමාපට සංඛ්‍යාව 120 ක් වන අතර දෙමළ සිනමා පට 6 ක් සහ ඉංග්‍රීසී සිනමා පටයක් ද ඊට ඇතුළත් ය. 1940 වසරේ අගෝස්තු වැනිදා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා උපත ලැබුවේ කොටහේනේදී ය. අවසන් කටයුතු හෙට පස්වරු 4 ට එඩේරමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.