දෙරටක හොඳ හිත් පළුඳු කළ කෝවිඩ් පරීක්ෂණ කට්ටල

ඉන්දියාව ලක්ෂ 5ක කෝවිඩ් පරීක්ෂණ කට්ටල ඇණවුමක් අවලංගු කරයි

by Sagarika Chathumali 28-04-2020 | 6:51 PM
COLOMBO (News 1st) : ඉන්දියාව කෝවිඩ් 19 වෛරස පරීක්ෂාව සඳහා චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කළ ක්ෂණික පරීක්ෂණ කට්ටල (Rapid Testing kits) ලක්ෂ 5ක ඇණවුමක් අවලංගු කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව ඉන්දීය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ, චීන සමාගම් දෙකකින් ආනයනය කර මේ වනවිට පරීක්ෂණ සඳහා යොදා ගෙන ඇති පරීක්ෂණ කට්ටල දෝෂ සහිත බවට කරුණු හෙළිවීමත් සමගයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ, ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් වෙත කෝවිඩ් පරීක්ෂණ සඳහා මේ වනවිටත් බෙදා හැර තිබූ එවැනි පරීක්ෂණ කට්ටල යළි එක් රැස් කිරීමට ද බලධාරීන් ක්‍රියා කර ඇත. මෙම පරීක්ෂණ කට්ටල මගින් විනාඩි 30ක් තුළ ප්‍රතිඵලයක් නිකුත් කරන අතර එහිදී ආසාදිතයින්ගේ ඇති ප්‍රතිදේහ හඳුනාගැනීම ද සිදුකරයි. සෞඛ්‍ය බලධාරීන්ට ඉන් ඉක්මනින් එක්තරා ප්‍රදේශයක ආසාදිතයින් සංඛ්‍යාව හඳුනාගැනීමට ද මෙම පරීක්ෂණ කට්ටලය උපකාරී වන බව සඳහන් කෙරිණ. කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රමාණවත් තරම් පරීක්ෂණ සිදු නොව බවට චෝදනා එල්ල වන පසුබිමකදී ඇතැම් ප්‍රාන්ත ඉන්දීය වෛද්‍ය පර්යේෂණ සභාවෙන් (ICMR) ඉල්ලා ඇත්තේ, මෙම කට්ටලවලින් පරීක්ෂණ කිරීම සඳහා අවසර දෙන ලෙසයි. ඉන්දීය වෛද්‍ය පර්යේෂණ සභාව මුල් අවස්ථාවේ මීට එකඟ නොවුණ ද පසුව චීන සමාගම් දෙකකින් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට අවසර දී තිබේ. පසුව පරීක්ෂණ කට්ටල භාවිත කළ ප්‍රාන්ත චෝදනා කරන්නට වූයේ, එම කට්ටල මගින් සිදුකළ පර්යේෂණවල නිර්වද්‍යතාව ඇත්තේ, 5%ක ප්‍රතිශතයක් පමණක් බවයි. ඔවුන් වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ, කොරෝනා අසාදිතයින් බවට දැනටම ත් තහවුරු වූ රෝගීන් සඳහා මෙම පරීක්ෂණ කට්ටල භාවිත කළ විට හෙළිවී ඇත්තේ, ඔවුන්ගේ ප්‍රතිදේහ නොමැති බවයි. එනම් ප්‍රතිදේහවලට අදාළ ප්‍රතිඵල නෙගිටිව් බවයි. පසුව වෛද්‍ය පර්යේෂණ සභාව ද මෙම කට්ටල සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදී මෙම පරීක්ෂණ කට්ටලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයත් පැන නැගී තිබේ. මීට පෙර ද විද්‍යාඥයින් මෙම කොරෝනා පරීක්ෂණ කට්ටලවල නිර්වද්‍යතාව පිළිබඳව ප්‍රශ්න කර තිබිණ. කෙසේ වෙතත් පරීක්ෂණ කට්ටලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සිදු කරන මෙම චෝදනා චීනය ප්‍රතික්ෂේප කර තිබේ. චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා  පවසන්නේ, තම රට අපනයනය කරන සෞඛ්‍ය උපකරණවල ගුණාත්මකබව පිළිබඳව ප්‍රමුඛතාවක් ලබා දෙන බවයි. මෙය අසාධාරණ සහ වගකීම් විරහිත චෝදනාවක් බවත් පාර්ශව කිහිපයක් චීන නිෂ්පාදන දෝෂසහිත බවට හංවඩු ගැසීම තුළින්   අගතියක් සිදු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම පරීක්ෂණ කට්ටල සඳහා රජය ප්‍රමාණය ඉක්මවා මුදල් ගෙවා ඇති බවට කරුණු ප්‍රකාශ වීමත් සමග මෙම ප්‍රශ්නය තවදුරටත් බරපතළ වන්නට විය. කෙසේ වෙතත් ඉන්දීය රජය පවසා ඇත්තේ, පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේදී අතික්කාරම් මුදල් ගෙවා නොමැති බැවින් ඇණවුම අවලංගු කිරීමෙන් රජයට එක රුපියලක හෝ පාඩුවක් සිදු නොවන බවයි. මේ අතර අද(27) වන විට ඉන්දියාවෙන් සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් 29,451ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.