COLOMBO (News 1st): හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා නව ජනාධිපති විශේෂ කාර්යය සාධක බලකායක් පත්කර තිබේ.
ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.
එහිදී ජනාධිපතිතුමා සදහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මග පෙන්වීම අනුව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාවක් තහවුරු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා මෙම කාර්යය සාධක බලකාය පත් කරන බව ය.
ඊට අමතරව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ හා අධීක්ෂණය කිරීමේ කාර්යය ද එම බලකායට අයත් වනු ඇති.
ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කදවුරු නිරීක්ෂණය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන්නැයි ද ජනාධිපතිතුමා එම විශේෂඥ කණ්ඩායමට දැනුම් දී තිබේ.
ජනාධිපතිතුමා එහිදී මෙලෙස සඳහන් කළේය.
“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෛරසයෙන් බේරා ගැනීම එකසේ වැදගත්. ආසාදිතයන් සමග සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමග සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”