by Staff writer 27-04-2020 | 2:25 PM
COLOMBO (News 1st): පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් මාර්තු 02වැනිදා නිකුත් කළ නියෝගය ආපසු කැඳවන්නැයි පක්ෂ නායකයින් 7 දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ එම නියෝගය ආපසු කැඳවීමට නොහැකි නම් ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසය.
වගකීමෙන් සහයෝගය දීමේ යෝජනාව ලෙස මෙම ඉල්ලීම ඇතුළත් ලිපියට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ආර්.සම්බන්ධන්, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුද්දීන් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයින් අත්සන් කර තිබේ.
එය අද පස්වරුවේ ජනාධිපතිවරයාට භාරදුන් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා තහවුරු කළේය.
වගකීමෙන් සහයෝගය දීමේ යෝජනාවේ සඳහන් වන්නේ පසුගිය සතිය වනතුරු කොරෝනා වසංගතයේ ව්‍යප්තිය පාලනය කිරීමට හැකිවෙතැයි රටේ ගොඩනගා තිබූ අපේක්ෂාව දැන් බිඳ වැටී ඇති බවය.
ඉදිරි සති කිහිපය තුළ තීරණාත්මක ලෙස එහි ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වුවහොත් මහජන සෞඛ්‍ය අර්බුදයට අමතරව ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදද ඇතිවිය හැකි බවට පක්ෂ නායකයින් අනතුරු අඟවා තිබේ.
ඔවුන් පවසන්නේ පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් දරණ උත්සාහය දේශපාලන තීන්දු හේතුවෙන් නිෂ්ඵල නොවිය යුතු බවය.
ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත බව පෙන්වා දෙන මෙම ඒකාබද්ධ යෝජනාවේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඉදිරි මාස දෙක තුළ බිහිවනු ඇතැයි සාධාරණ අපේක්ෂාවක් තැබිය නොහැකි බව ද සඳහන්ය.
විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් දේශපාලන පක්ෂවලත් මන්ත්‍රීවරුන්ගේත් සහයෝගය ලබාගැනීම මගින් පවතින අර්බුදය තුළ මතුවී ඇති හදිසි ගැටලු ගණනාවක් නිරාකරණය කරගත හැකි බව පක්ෂ නායකයින් 7 දෙනාගේ මතය වී තිබේ.
අර්බුදයට මුහුණදීම සඳහා අවශ්‍ය නව නීති පැනවීම, ඒකාබද්ධ අරමුදල රජයේ වියදම් සඳහා යොදා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම ඒ අතර ප්‍රධානයි.
අර්බුදය විසඳීම සඳහා,,, විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇති වගකීම ඉටුකිරීමට කැපවන බවට සහතික වන පක්ෂ නායකයින් හත් දෙනා, මෙම කාලය තුළ වැටුප් ලබා නොගන්නා බව ද ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.
ඔවුන් ජනතාවට සහතික වන්නේ ආණ්ඩුව පරාජය කිරීමට උත්සාහ නොගන්නා අතරම ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කඩාකප්පල් නොකරන බවටයි.
නීත්‍යානුකූලව පනවා නොතිබුණත් දැනට පවතින ඇඳිරි නීතිය පවත්වාගෙන යාමට පූර්ණ සහය දීමෙන් මේ බව තමන් තහවුරු කර ඇති බව ද ඔවුන් ජනාධිපතිවරයාට සිහිපත් කර තිබේ.
සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙන්ම අප රට ද පාලනය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුනෙන් බව සිහිපත් කරන පක්ෂ නායකයින් හත් දෙනා පවසන්නේ නීතියේ ආධිපත්‍යය පැවතීමට මෙම ආයතන තුනම සක්‍රීයව තිබීම අත්‍යාවශ්‍ය බවය.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමෙන්, කොරෝනා වෛරස අභියෝගය ජය ගැනීමට සහයෝගයෙන් එක්ව වැඩ කිරීමට හා එසේ කරන ක්‍රියා ව්‍යවස්ථාවට අනුකූලව සිදුකිරීමට ඉඩ ලැබෙන බව ද පක්ෂ නායකයින් 7 දෙනා පෙන්වා දෙන්නේය.
ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ විසුරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට නොහැකි නම් ව්‍යවස්ථාවේ 70(7) වගන්තියේ ඇති බලතල අනුව අඩුම තරමින් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමක් හෝ කරන ලෙසය.
මෙය අවංක චේතනාවෙන් පමණක් ඉදිරිපත් කරන යෝජනාවක් බවත් කිසිදු සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවත් වගකීමෙන් සහයෝගය දීමේ යෝජනාව මගින් පක්ෂ නායකයින් 7 දෙනා ජනාධිපතිවරයාටත් මුලු රටටත් සහතික වී තිබේ.