කෝවිඩ් මාරයා තිඹිරි ගෙය අත්හරී

ජීවිත ලක්ෂ 2ක් බිලිගත් කෝවිඩ් මාරයා තිඹිරි ගෙය අත්හරී

by Sagarika Chathumali 26-04-2020 | 6:43 PM
COLOMBO (News 1st) : හැල්මේ දුවමින් සිටි ලෝකවාසීන් කුටුම්බයට කොටු කරමින් ලොකයේ ගමන නවතා දැමූ කොරෝනා (කෝවිඩ්) මාරයා මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි ගෙන අවසන් ය. එහෙත් කෝවිඩ්-19 වෛරසයේ තිඹිරි ගෙය වූ වූහාන් නගරයේ රෝහල්වල අද වනවිට කිසිදු කෝවිඩ්-19 ආසාදිතයෙකු ප්‍රතිකාර නොලබන බව එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් ශිංහුවා (Xinhua) පුවත් සේවය වාර්තා කරයි. එම පුවත් සේවය තවදුරටත් වාර්තා කරන්නේ, බීජිං නුවර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මි ෆෙන් (Mi Feng) ඒ බව නිල වශයෙන් තහවුරු කළ බවයි. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ දැඩි කැපවීම හේතුවෙන් මෙම සුබදායි තත්ත්වය ළඟා කර ගත් හැකි වූ බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ. වූහාන්හි තත්ත්වය එසේ වුව ද කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් මේ වනවිට ලොවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂ 2ක ඉක්මවා ඇති බව වාර්තා වේ. මිලියන 3 කට ආසන්න, ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 840,735කි. කෙරෝනා වංසගත ව්‍යාප්තියේ වැඩිම බලපෑම එල්ලවූ රට බවට පත්ව ඇත්තේ, මෙතෙක් ලෝක බලවතා ලෙස සැලකූ අමෙරිකාවයි. මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 54, 265 කි. සියලු ශක්තීන් යොදමින් ලොව සෑම රටක්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක නිරතව සිටිය ද අද වනවිටත් සටනේ ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ, ඇසට නොපෙනෙන කොරෝනා වෛරසයයි.