මී උණ වැළඳීමෙන් නාවික හමුදා නිලධාරියෙකු මියයයි

මී උණ වැළඳීමෙන් නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වෙයි

by Chathuranga Rajapaksha 26-04-2020 | 2:40 PM

COLOMBO (News 1st): මී උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ දැඩි සත්කාර ‍ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ, එම නිලධාරියා ඊයේ අභාවප්‍රාප්ත වූ බව ය. මෙලෙස අභාවප්‍රාප්ත වූයේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකුවන ලුතිනන් කොමාන්ඩර් (ස්වේච්ඡා) සුනිල් බණ්ඩාර දොඩම්වල නමැති නිලධාරියෙකි. 35 වැනි වියේ පසු වූ එම නිලධාරියා පසුගිය 18වැනි දා කොළඹ නාවික මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ බව එම නාවික හමුදාව පවසයි. මෙම නිලධාරියා ප්‍රතිකාර ලැබූ කාලය තුළ වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණවලදී ඔහු මී උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන බව නිගමනය කරනු ලැබ තිබේ. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළ Covid-19 වෛරසය ව්‍යාප්තවීමත් සමග සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම නාවික හමුදා නිලධාරියා Covid-19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු නොවන බවට ද තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ඒ අනුව මී උණ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මෙම නිලධාරියා අභාවප්‍රාප්ත වී තිබෙන බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම මරණය Covid-19 වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තහවුරු වුවද, වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත Covid-19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කර ඇති බව නාවික හමුදාව පවසයි. ඒ අනුව එම නිර්දේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිත ය.