COLOMBO (News 1st) :කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි 4 සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන දා අලුයම 5.00ට ඉවත් කොට රාත්‍රි 8.00 යළි පනවන බවයි.
ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාළු සහ සිල්ලර වෙළෙඳසල් පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබේ.
පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙරවරු 10.00 ලෙස නියම කර ඇතැයි ද, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
රාජ්‍ය, හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතු ව පවතී.
දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි.
යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවද, නිවේදනයේ සඳහන් ය.
සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කර තිබේ.
එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට අවස්ථාව ලබා දි තිබේ.
යම් දවසක, කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3ක පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබෙන බව ද, ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.
ගමනාගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා වනු ඇති.
අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා නිවෙස්වල රැඳී සිටිය යුතු වේ.
කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.
එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳසැල පමණක් තෝරාගත යුතු බව ද, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින්.
ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.
සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ,....
අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය,
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය වශයෙනි.
මේ අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබේ.
පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුයි.
ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇතැයි, නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.
සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇති අතර, ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා එමගින් ඉල්ලා තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා ඇතැයි එම නිවේදනයේ සඳහන් ය.
තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරන බවද, ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.
සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඬුවම් පමුණුවනු ලබන බව ද, එම නිවේදනයේ සඳහන් ය.
ඇඳිරි නීතිය පැනවීම සහ ලිහිල් කිරීමට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්...
