කොවිඩ් පරීක්ෂණ පුළුල් කිරීමට පියවර

කොවිඩ් පරීක්ෂණ පුළුල් කිරීමට පියවර

by Staff writer 25-04-2020 | 5:27 PM
COLOMBO (News 1st) : පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණය අනුව යමින් රජයේ සහ පෞද්ගලික අංශය සතු PCR යන්ත්‍ර සියල්ලම පරීක්ෂණ සඳහා යොදා ගැනීමට අවාධනය යොමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී මේ පිළිබඳව සඳහන් කළ බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් හා ආයතනවල PCR යන්ත්‍ර 55 ක් සහ විශ්වවිද්‍යාල සතුව PCR යන්ත්‍ර 47 ක් ඇති අතර පෞද්ගලික ක්ෂේත්‍රය සතු PCR යන්ත්‍ර සංඛ්‍යාව 15 කි. කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය එහිදී පෙන්වා දී තිබේ. මේ අතර විවිධ රෝග හේතුවෙන් රෝහල් තුළ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබඳව හා බාහිර රෝගී සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකුගෙන් සමන්විත වේ.