අමෙරිකාවෙන් යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර නැහැ

අමෙරිකාවෙන් යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර නැහැ - අමෙරිකානු රාජ්‍ය ලේකම්

by Staff writer 24-04-2020 | 8:53 AM

News 1st - ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අමෙරිකාවෙන් ලබා දෙන ආධාර අත්හිටුවා ඇති පසුබිමක චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඩොලර් මිලියන 30 ක පරිත්‍යාගයක් කර තිබේ. COVID -19 වෛරසය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා වන්නේ අමෙරිකාවෙනි. ඒ, 2,110 ලෙසයි. ඒ අනුව අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 49,769 දක්වා ඉහළ ගොස් තිබේ. අමෙරිකාවෙන් වාර්තා වන අසාදිතයින් ගණන 879,430 කි. අමෙරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය විසින් ඩොලර් බිලියන 484 ක COVID -19 සහන පැකේජයක් සම්මත කර ගෙන ඇත. මේ අතර යුරෝපීය කලාපයෙන් පසුව COVID -19 ව්‍යාප්ත වෙමින් පවතින දකුණු අප්‍රිකානු කලාපයේ මැයි පළමු වැනි දා දක්වා වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මේ අතර COVID -19 ආසාදනය වී සුව වූ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නැවත ලබන සඳුදා සිට සේවයට වාර්තා කිරීමට සුදානම්ව සිටින බව වාර්තා වේ. ලොව පුරා රටවල් රැසක මේ වනවිට COVID -19 ආසාදිතයින් සංඛ්‍යාව විසි හත් ලක්ෂ පහලොස් දහස ඉක්මවා ගොස් තිබේ. වාර්තා වන COVID -19 මරණ සංඛ්‍යාව 190,000 කට අධිකයි.