දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන්

දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන්

by Staff writer 22-04-2020 | 7:48 AM

News 1st - කොරෝනා වෛරසය හේතුවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා විය.

එලෙස ඉකුත් පැය 24 තුළ ජීවිතක්ෂය පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 2776 කි. මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ දහඅට දහස ඉක්මවනු ඇත. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 45290 ක් . මේ අතර දින 60 කට වලංගු වන පරිදි සංක්‍රමිණකයින්ට අමෙරිකාවට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව සූදානම් වෙයි. ඒ සඳහා වන විධායක නියෝගයට අද දිනය තුළ හෝ ඉදිරි දින කිහිපයේදී අත්සන් තබනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ගත වූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 830 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. වෛරසය ආසාදනයෙන් එරට ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 645 ක්. මේ අතර ඉන්දියාවේ වායු දූෂණය අවම තත්ත්වයකට පත්ව වායු ගුණාත්මක භාවය ඉහළ ගොස් තිබේ. ඒ, පවතින තත්ත්වය හමුවේ පනවා ඇති නීති රීති හේතුවෙනි. මේ වනවිට ලොව පුරා රටවල් 210 කින් වාර්තා වන කොරෝනා ආසාදියින් සංඛ්‍යාව විසි පන්ලක්ෂ පනස් හතර දහස ඉක්මවා ඇත. ජීවිතක්ෂයට පත් ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැත් හත් දහසකට අධිකයි. වෛරසය ආසාදනයෙන් සුවය ලැබූ පිරිස හය ලක්ෂ අනූදහස දක්වා ඉහළ ගොස් තිබේ.