කහ කන්ටේනර් තොගයක් මුදා හැරේ

කොළඹ වරායේ රඳවා තිබූ කහ කන්ටේනර් තොගයක් මුදා හැරේ

by Staff writer 22-04-2020 | 12:42 PM

COLOMBO (News 1st) - කොළඹ වරායෙන් නිදහස් නොකර රඳවාගෙන තිබූ කහ කන්ටේනර් කිහිපයක් මුදා හැරීමට පියවර ගත් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුබ හීන්කෙන්ද මහතා පැවසුවේ, එම කන්ටේනර් නිදහස් කිරීමෙන් අනතුරුව මෙරට පවතින කහ හිඟය ඉදිරි සති කිහිපය තුළදී පහව යනු ඇති බවය. ජනවාරි 21 දක්වා ආනයනකරුවන්ට මෙරටට කහ ගෙන්වීමට අවසර ලබාදී තිබූ බව ඔහු සඳහන් කළේ ය. සුබ හීන්කෙන්ද මහතා පැවසුවේ, එහෙත් මුදාහෑරීමට පියවර ගත් අදාළ කහ කන්ටේනර් තොගය ජනවාරි 21 වැනි දායින් පසුව මෙරටට ආනයනය කිරීම හේතුවෙන් වරායෙන් නිදහස් නොකර තිබූ බවයි. මේ අතර ඊයේ සිට කහ කුඩු කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරිණි. පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව කහකුඩු කිලෝග්‍රෑම් එකක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 750 ක් බවයි. ඒ සඳහා ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.