ඡන්දය ගැන අද සාකච්ඡා වට 3ක්

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට

by Staff writer 21-04-2020 | 7:08 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඒ, ඉදිරි මහ මැතිවරණය හා වත්මන් කොරෝනා ව්‍යාප්තිය හමුවේ මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව කොටස් දෙකකින් යුතුව පැවැත්වෙනු ඇති. පළමු සාකච්ඡාව පෙරවරු 10.30 ට ආරම්භ වන අතර ඊට මහ මැතිවරණය සඳහා මුළු දිවයිනටම නාම යෝජනා භාරදුන් දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගි වනු ඇති. දෙවැනි සාකච්ඡාව පැවැත්වෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පමණක් තරග වදින දේශාපාලන පක්ෂවල නියෝජිතයින් සමගයි. මේ අතර අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා COVID 19 න් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් ද පැවැත්වීමට සැළසුම් කර තිබේ. ඊට යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඇතුළු පිරිසක් සහභාගි වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර මහ මැතිවරණය ජුනි මස 20 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිසම ඊයේ තීරණය කළේ ය. මැතිවරණ කොමිසම ඊයේ රැස් වූ අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා රාජ්‍ය පරිපාලන ,සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග ද සාකච්ඡා කළහ.