ප්‍රදේශ රැසක පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

ප්‍රදේශ රැසක පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ: කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලමට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 20-04-2020 | 7:17 AM

COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලටත් අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත් හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5.00 ට ඉවත් කළ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවලට යළිත් අද රාත්‍රී 8.00 ට පොලිස් ඇඳිරි නීතිය පනවා පසුදින අලුයම 5.00 ට ඉවත් කරන බවය. ඉන් අනතුරුව නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක වනු ඇති. මීට අමතරව තෝරා ගත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හැර කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලබන බදාදා (22 වැනි දා) අලුයම 5.00 ට ඉවත් කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත්, කොළඹ දිස්ත්‍රික්ක‍යේ කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල පොලිස් බල ප්‍රදේශවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල, කොච්චිකඩේ සහ සීදුව පොලිස් බල ප්‍රදේශවලටත් පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව යන පොලිස් බල ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අලුත්ගමටත් අඛණ්ඩව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේ ය. පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හැර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල බදාදා (22 වැනි දා) අලුයම 5.00 ට ඉවත් කෙරෙන පොලිස් ඇඳිරි නීතිය යළිත් රාත්‍රී 8.00 ට යළි පැනවෙනු ඇති. ඉන් අනතුරුව සෑම දිනකම අලුයම 5.00 ට ඉවත් කෙරෙන පොලිස් ඇඳිරි නීතිය එම දිස්ත්‍රික්කවලට පැනවෙන්නේ රාත්‍රී 8.00 ටයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ ද අත්‍යවශ්‍ය කටයුතුවලට හැරෙන්නට නිවෙස්වලින් පිටතට නොයන ලෙසය.