දිස්ත්‍රික්ක 4 කට පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

by Staff writer 20-04-2020 | 11:06 AM

COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ.

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කරමින් ජනාධිපති කාර්යාලය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළේ ය. එහි දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම හෝ පිටවීම සියලු දෙනාට සම්පුර්ණයෙන් තහනම් කර ඇති බවයි. සෙසු දිස්ත්‍රික්කවලට අද අලුයම 5 ට ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය රාත්‍රී 8 ට යළි පැනවේ. ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ, එම දිස්ත්‍රික්කවල ලබන 24 වන සිකුරාදා දක්වා සෑම දිනකම අලුයම 5 සිට රාත්‍රී 8 ට දක්වා ඇඳිරි නීතිය ලිහිල් කරන බවයි. එම දිස්ත්‍රික්කවල සති අන්තයේ ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේ නැත. ඒ අනුව 24 වන සිකුරාදා රාත්‍රී 8 ට පනවන පොලිස් ඇඳිරි නීතිය 27 සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වනු ඇති. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතින බව ද ජනාධිති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ඇදිරි නීතිය පිළිබද නවතම නිවේදනය 2020-04-20