ට්‍රම්ප්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Covid-19: අමෙරිකානු ජනපතිගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

by Staff writer 19-04-2020 | 8:01 AM

News 1st - කොරෝනා ව්‍යාප්තියට වගකිව යුතු නම් චීනයට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, වෛරස් ව්‍යාප්තිය අත්වැරදීමකින් සිදු වූයේ නම් පමණක් චීනයට එයට එහි ප්‍රතිවිපාක විඳීමට සිදු නොවනු ඇති බවය. කෙසේ වෙතත් චීනයට එරෙහිව ගනු ලබන පියවර මොනවාදැයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර නැත. චීනයේ, වූහාන් නුවර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්තිය ඇරඹූ කොරෝනා වෛරසය ආසාදනයෙන් දිවි අහිමිවූවන් සංඛ්‍යාව 160,000 ඉක්මවන පසුබිමකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. චීනය සහ අමෙරිකාව මීට පෙර ද කොරෝනා ව්‍යාප්තියට එකිනෙකා වගකිව යුතු බවට චෝදනා කරගත් නමුත් මෙතෙක් ඒ කිසිවක් තහවුරු වී නොමැත. වෛරස් හඳුනාගැනීම සහ මර්දනය කිරීමේ හැකියාව පෙන්නුම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ, වූහාන් නුවර පර්යේෂණාගාරයකදී Covid-19 වෛරසය නිර්මාණය කර ඇතැයි පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. සත්‍ය ලෙස වෛරස් ආසාදනයෙන් චීනයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව ද ජනපති ට්‍රම්ප් මෙහිදී සැක පළ කළේය. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ පුද්ගලයන් 1820 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්විය. බ්‍රිතාන්‍යයෙන් නව මරණ 888 ක්ද, ස්පාඤ්ඤයෙන් නව මරණ 637 ක්ද ප්‍රංශයෙන් නව මරණ 642 ක්ද වාර්තා වේ. ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදනයෙන් බ්‍රසීලයේ 220 ක් සහ ඉතාලියේ 482 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මේ සමග යුරෝපයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන බව වාර්තා වේ. මේ වනවිට ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවද 24 ලක්ෂයකට ආසන්නයි. වෛරස් ආසාදනයෙන් ලක්ෂ 6 කට ආසන්න සංඛ්‍යාවක් සුවය ලබා ඇත. ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවන අතර එම කාලය තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව ද 6300 ඉක්මවා ගියේ ය.