උත්සව, චාරිකා, රැස්වීම් පැවැත්වීම තවදුරටත් තහනම්

පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

by Staff writer 19-04-2020 | 7:36 AM

COLOMBO (News 1st) - පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව පවති. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් 1/3 ක් සේවයට වාර්තා කළ යුතු අතර සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළ යුතු පිරිස 50% ක් වේ. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවසේ සිට සිය රාජකාරි ඉටු කළ යුතු බව නියම කර ඇති අතර එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, යම් දවසක කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3 ට සහ 50% ට අයත් පිරිස වෙනුවට ඊළඟ දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබෙන බවය. කාර්යාල විවෘත කර පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් වේ. පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10.00 ට විවෘත කරන ලෙස නියම කෙරෙන අතර පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය. එම ආයතන ද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සලසනු ඇති. රජයේ සෙසු ආයතනවල සේවයට වාර්තා කරන සංඛ්‍යාව සීමා කළ ද රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යවශ්‍ය සේවාවන්හි සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය වන බව ද එම නිවේදනයේ සඳහන් ය. බස් රථ, වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගීන් සංඛ්‍යාවක් වන අතර සියලු වාහන ද විෂබීජ හරණයට ලක් කළ යුතු වේ. මේ කොන්දේසිවලට යටත්ව සිය සේවා යළි ආරම්භ කරන්නැයි රජය පෞද්ගලික ප්‍රවාහන ආයතනවලින් ඉල්ලා සිටි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සියලු ආකාර උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් බවයි. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස රජය ඉල්ලීමක් කරයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ පොලිස් ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගනු ලැබූයේ ජනතාව මේ මරණීය වසංගතයෙන් මුදා ගැනීමේ ඒකායන අරමුණ ඇතිව බව පවසන ජනාධිපති මාධ්‍ය අංශය අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග නිසා අත්කර ගත් ප්‍රගතිය ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ඉවහල් විය. ආර්ථිකය යළි පණ ගැන්වීම සහ අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ දිළිඳු සහ අවදානමට ලක් ව ඇති ජන කොටස්වල ජීවිතය සුරක්ෂිත කිරීම තව ත් අරමුණක් බව ද එම නිවේදනයේ සඳහන් විය. එසේ වුවද කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නොමැති අතර එබැවින් වෛරස ව්‍යාප්තියට යළි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටි. ඇඳිරි නීතිය ලිහිල් කළ ද රැකියා සඳහා යාම් ඊම් හැරණු විට අන් සෑමවිටම නිවෙස්වල රැඳී සිටින ලෙස ද අවධාරණය කරන රජය ඇඳිරි නීතිය ලිහිල් කළ විගස අනවශ්‍ය කලබලයකින් විශාල පිරිසක් ඒකරාශීවන අයුරින් වෙළෙඳ සැල් වෙත රැස් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. කොරෝනා උවදුර මුළුමනින් පරාජය කළ බව සෞඛ්‍ය බලධාරීන් නිගමනය කරන තෙක් තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි. මේ අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් නිකුත් කර තිබේ. අදාළ චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශිය ලේකම්වරුන් , රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.