කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අප්‍රිකාව ?

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 150,000 ඉක්මවයි

by Staff writer 18-04-2020 | 8:40 AM

News 1st - ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 150,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට ලොව කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව සටහන් වන්නේ 154,256 ක් ලෙසයි. වෛරසය ආසාදනයෙන් මේ වනවිට පුද්ගලයින් 572,076 දෙනෙකු සුවය ලබා තිබේ. මේ වනවිට ලොව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිදෙලක්ෂ පනස්දහස ඉක්මවයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ පුද්ගලයන් 2535 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබේ. එසේ වුවත් වෛරස් ව්‍යාප්තිය හමුවේ පැන වූ නීති ලිහිල් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා ඇමතූ ජනපති ට්‍රම්ප්, මිනිසෝටා, මිචිගන් සහ වර්ජිනියා යන ප්‍රාන්ත වෙත පැන වූ නීති ලිහිල් කරන ලෙස ඉල්ලා ට්විටර් පණිවුඩ කිහිපයක්ම නිකුත් කර තිබේ. මෙම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් වන බැවින් අමෙරිකාවේ කොරෝනා අර්බුදය මේ වනවිට දේශපාලන මුහුණුවරක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. පනවා ඇති ආර්ථික සීමා පුරවැසියන්ට හානි කරන බවට විරෝධතාකරුවන් පවසන නමුත් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කළේ, එම සීමා ලිහිල් කිරීම වෛරස් ව්‍යාප්තිය පුළුල් වීමට හේතුවනු ඇති බවයි. මේ වනවිට ලොව පුරා වැඩිම කොරෝනා මරණ සහ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද අමෙරිකාවෙනි. බ්‍රිතාන්‍යයේ ඊයේ කොරෝනා ආසාදිතයන් 847 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,576 ක් දක්වා ඉහළ ගියේ ය. බ්‍රිතාන්‍යය සඳහන් කළේ, මේ හමුවේ කොරෝනා මර්දන එන්නත් නිර්මාණය කිරීමේ නිරත පර්යේෂණ ව්‍යාපෘති 21 කට ආධාර කිරීමට පියවර ගත් බවයි. කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ බව සඳහන් කළ ජර්මනියෙන් ද ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 300 කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. ඉකුත් පැය 24 තුළ ඉතාලියේ පුද්ගලයන් 575, ස්පාඤ්ඤයේ 687, ප්‍රංශයේ 761 දෙනෙකුට ද කොරෝනා හේතුවෙන් දිවි අහිමි විය. ප්‍රංශයේ මේ වනවිට කොරෝනා ආසාදනයෙන් 19000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති නමුත් එරට වෛරස් ව්‍යාප්තිය මන්දගාමී වී ඇතැයි වාර්තා වේ. මේ අතර කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අප්‍රිකාව වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඉකුත් සතියේ අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම ඊට හේතුවයි.