ගසක සිරවූ කොටියෙකු බේරා ගනී

මස්කෙලියේ ගසක සිරවූ කොටියෙකු බේරාගත් මෙහෙයුම

by Staff writer 18-04-2020 | 5:33 PM

COLOMBO (News 1st) - මද්දකට හසු වී පළාවිත් ගසක් මැද දෙබලක සිර වී සිටි කඳුකර කොටියෙකු පැය 3ක මෙහෙයුමකින් පසු මුදා ගැනීමට රන්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යයවරුන් සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් අද(18) සමත්විය.

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් තේ වත්තේ තම්බතැන්න කොටසේ උස ගසක අඩි 20ක් පමණ ඉහළින් කොටියා මද්ද සහිතව ගසේ දෙබලේ ඊයේ(17) රාත්‍රියේ සිරවී ඇත. ගාඩ්මෝර් තේ වත්තේ එළවළු වගා භූමියක වල් ඌරන් දඩයම් කිරීමට අටවා තිබූ උගුලකට කඳුකර කොටියා හසු වී ඇති අතර, එම උගුල කඩාගත් කොටියා තේ වත්තේ ගසකට නැග ඇත. කොටියා සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරීවරයා විසින් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව කොටියා බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කෙරිණ. කොටියා නිර්වින්දනය කිරීම සඳහා එන්නත් කිහිපයක් ලබාදීමෙන් පසුව වනජීවී නිලධාරීන් ගසට නැග මද්ද ගලවා නිර්වින්දනය වූ කොටියා පහලට රැගෙන ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගියේය.