PAYE Tax ගෙවීමට ක්‍රම 2ක්

PAYE Tax ගෙවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රම 2ක් හඳුන්වා දෙයි

by Chathuranga Rajapaksha 17-04-2020 | 8:40 PM

COLOMBO (News 1st): ආයතනික සේවකයින්ගෙන් පසුගිය ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස සඳහා උපයන විට බදු හෙවත් PAYE TAX අයකර ගැනීමක් සිදු නොවූ නිසා එම බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රමවේද 2ක් හඳුන්වා දී තිබේ.

මේ අනුව එක් මාසයක ආදායම රුපියල් 250,000කට වැඩිනම් එම වැඩිපුර ඉපැයීම් සඳහා බදු ගෙවිය යුතුයි. අදාළ බදු මුදල මැයි 15 වැනිදාට පෙර ගෙවිය යුතු අතර ඒ සඳහා දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ පුද්ගලිකව ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කර ගත යුතු වේ. එසේ නොවන්නේ නම් අදාළ සේවකයා රැකියාව කරන ආයතනය බදු මුදල පෙර පරිදිම ගෙවිය යුතුය. අදාළ මාසවල බදු මුදල් අඩුකිරිමකින් තොරව දැනටමත් ආයතන විසින් සේවකයින්ට වැටුප් ගෙවා ඇත්නම් එම බදු මුදල් සේවකයාගෙන් ලබාගෙන ගෙවීමේ අවස්ථාව ඇති බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම ක්‍රමවේද දෙක ඉදිරියටත් අදාළවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ඒ අනුව වාර්ෂික ආදායම මිලියන 03 ට වැඩි පුද්ගලයින්ට, පුද්ගලිකව ආදායම් බදු ලිපිගොනු විවෘත කර ගත හැකි අතර එසේ නොවන්නේනම් පෙර උපයන විට බදු ගෙවූ පරිදි වැටුපෙන් අඩුකර සේවා යෝජකයා හරහා අදාළ බදු මුදල් ගෙවිය හැකිය.