තවත් ආසාදිතයින් 7ක් සුවය ලබති

තවත් ආසාදිතයින් 7ක් සුවය ලබති

by Staff writer 17-04-2020 | 6:28 PM
COLOMBO (News 1st) : තවත් කොරොනා රෝගීන් 7 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ. මේ අනුව මෙරට කොරෝ නා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 77 කි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, මෙරට සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ 242ක් දක්වා ඉහළ ගිය බවයි. අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් හතරදෙනෙකු හඳුනා ගැනීමත් සමග එම සංඛ්‍යාව ඉහළ ගිය බව ඔහු සඳහන් කළේ ය. අද දින වාර්තා වූ රෝගීන් තිදෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධානයට ලක්වෙමින් සිටි කාන්තාවන් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය. එමෙන්ම අද දිනයේ PCR පරීක්ෂණ 530 ක් පමණ සිදුකර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර සැක සහිත රෝගීන් 161 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසී ය. මේ අතර කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. සෞඛ්‍ය බලධරින් සඳහන් කළේ, බේරුවල කොට්ඨාසයේ ගම්මාන 5 ක් හුදකලා කර ඇති බවයි. චීනකොටුව, පන්නිල, අක්කරගොඩ, අඹේපිටිය සහ කරඳගොඩ ගම්මාන එලෙස හුදකලා කර ඇති බව සෞඛ්‍ය අංශ පැවසී ය. මෙම ගම්මාන 5 සඳහා ඇතුල්වීමට සහ පිටවීමට ඇත්තේ එක පිවිසුම් මාර්ගයක් පමණි. මේ අතර කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, අරුණාලෝක මාවත, එමානුවෙල් අරෝෂ්මාවත මෙන්ම නාගලගම් වීදිය යන ප්‍රදේශ හුදකලා කළ ස්ථානවලට ඇතුළත් ය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයද තවදුරටත් හුදකලා කර ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශය ද හුදකලා කර තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි අට්ටවිල්ලුව ගම්මානය ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර , කඩුමයාන්කුලම් ගම්මානය තවදුරටත් හුදකලා කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. අම්පාරේ පිහිටි 19 ගම ප්‍රදේශය ද හුදකලා කර තිබේ.