ඡන්දය ගැන සාකච්ඡා කිරීමට 20 වෙනිදා කොමිසම රැස්වෙයි

ඡන්දය ගැන සාකච්ඡා කිරීමට 20 වෙනිදා කොමිසම රැස්වෙයි

by Staff writer 17-04-2020 | 6:48 PM
COLOMBO (News 1st) : මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික මැතිවරණ කොමිසම 20 වැනිදා රැස්වීමට තීරණය කර ඇතැයි, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එදින කොමිසමේ සාමාජිකයින් මැතිවරණ පැවැත්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලය සහ තැපැල් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය. මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ලබන 21 වැනිදා වනවිට කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හා මැතිවරණ පැවැත්වීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය, ආරක්ෂක, රාජ්‍ය පරිපාලන ඇතුළු සියලු අංශ සමග සාකච්ඡා කරන බවයි. කෙසේ වෙතත්, ඡන්දය පැවැත්වීමේ දිනයක් තීරණය කළ හැක්කේ පවතින සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් අදාළ සියලු අංශ ලබාදෙන තක්සේරු සැලකිල්ලට ගැනීමෙන් පසුව බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ය.