දිස්ත්‍රික්ක 19කට යළි පැනවූ ඇඳිරි නීතිය 20 දක්වා

දිස්ත්‍රික්ක 19කට යළි පැනවූ පොලිස් ඇඳිරි නීතිය ලබන 20වැනිදා දක්වා ක්‍රියාත්මකයි

by Staff writer 16-04-2020 | 5:45 PM

COLOMBO (News 1st): දිස්ත්‍රික්ක 19 කට අද උදෑසන ලිහිල් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය පස්වරු 4.00ට යළි පනවනු ලැබිණි.

එය, ලබන 20 වැනිදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් වෙළෙඳ සැල් වෙත පැමිණ ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළේය. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය පැනවීමෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් ඉවසා සිටින්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට දැනුම් දෙන්නේය. සෑම දිස්ත්‍රික්කයකම ගොවිතැන් කිරීම, අපනයන බෝග නිෂ්පාදනය මෙන්ම ධීවර කටයුතු සඳහා අවසර හිමියි. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීති දැඩිව ක්‍රියාත්මක බව ද, ජනාධිපති කාර්යාලය අවධාරණය කළේය.