COVID-19: අමරිකාවේ මරණ 23000 පසු කරයි

COVID-19: අමරිකාවේ මරණ 23000 පසු කරයි - ලොව වටා තොරතුරු සැකෙවින්.

by Staff writer 14-04-2020 | 1:11 PM

News 1st -  ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහ නව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

එම වෛරසයෙන් ලොව පුරා මේ වනවිට මිය ගොස් ඇති සංඛ්‍යාව එක් ලක්ෂ දහනව දහස ඉක්මවා ඇත. ලොව කොවිඩ් ආසාදිතයන් වාර්තාවන අමරිකාවේ ආසාදතයන්සංඛ්‍යාව ලක්ෂ 6කට ආසන්න වද්දී පුද්ගලයින් 23,000 කට අධික පිරිසකට දිවි අහිමිවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර. කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ තත්ත්වය පාලනය වී තිබුණද ඊයේ දිනය තුළ පමණක් චීනයේ නව කොරෝනා වෛරස ආසාදිතයින් 86 දෙනෙකු වාර්තා විය. කෙසේ වෙතත් ඊයේ චීනයෙන් මරණ කිසිවක් වාර්තා නොවීම විශේෂත්වයකි. මේ වනවිට චීනයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82249 ක් වන අතර, ඉන් 78000 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ අතර සිය රට වසා දැමීමේ ක්‍රියාවලිය ලබන 11 වැනිදා දක්වා දිර්ඝ කිරීමට ප්‍රංශය තිරණය කර ඇත. ජාතිය අමතමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් කියා සිටියේ මැයි 11 වැනිදායින් පසුව ප්‍රගතිශීලි නව අදියරක් ආරම්භ වනු ඇති බවයි. මේ වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 140000 ට අසාන්න වෙමින් පවතී. ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 15000 ට ආසන්න වී තිබේ.
මේ අතර, සිය රටේ දහස් ගණනක් වූ සාප්පු සංකීර්ණ අද සිට යළි විවෘත කිරීමට ඔස්ට්‍රියාව තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ එම ස්ථානවලදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම කෙරෙහි එරට රජයේ වැඩි අවධානය යොමුව ඇති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් බලපැමට ලක් වූ සංවර්ධනය වෙමින් පවතින රටවල් 25 කට අරමුදල් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ඇෆ්ගනිස්ථානය, යේමනය, නේපාලය, හෙයිටි සහ අප්‍රිකානු කලාපයේ රටවල් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය ගෙවීම් කෙටි කාලයකට අත් හිටුවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලොව බලවත් රටවල් රැසකින් ඉල්ලීමක්ද කළේ ය.