by Staff writer 14-04-2020 | 1:52 PM
COLOMBO ( News 1st ) – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, අද දහවල් ඔහු ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ආශා කහවත්ත මහත්මිය ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔහු ඇප මත මුදාහරින්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
එහෙත්, ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන මේ දක්වා අවසන්ව නොමැති බැවින් ඇප මත මුදා හැරීමෙන් විමර්ශනවලට බාධා වියහැකි බවට මිරිහාන පොලීසිය කළ කරුණු දැක්වීම සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබී ය.
ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිණ.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනුණේ ඊයේ රාත්‍රියේදීයි.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, රන්ජන් රාමනායක මහතා හමුවීමට, මාදිවෙල මන්ත්‍රී නිවාස වෙත පැමිණ තිබුණේ කැබ් රථයකිනි.
ඇඳිරි නීති රෙගුලාසී උල්ලංඝනය කරමින් පැමිණි ඔහු මන්ත්‍රීවරයා හමුවීමට අවශ්‍ය බව නිවාස සංකීර්ණයේ රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට පවසා තිබිණ.
එහිදී ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති වීම පිළිබඳව පොලීසීය, ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි රන්ජන් රාමනායක මහතා අදාළ නිලධාරීන්ට බැණ, ඔවුන්ගේ රාජකාරියට බාධාකරමින් අදාළ පුද්ගලයා සිය නිවාස සංකීර්ණයට රැගෙන ගොස් තිබිණ.
අනතුරුව රන්ජන් රාමනායක මහතා සහ අදාළ පුද්ගලයා මිරිහාන පොලීසීයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතීය කඩ කිරීම සහ එය කඩකිරීම සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේයී.