by Nadeeshan Meedin 13-04-2020 | 6:51 PM
COLOMBO (News 1st) : මැතිවරණය පැවැත්වීම සදහා රටේ ජන ජීවිතය නිසි පරිදි යථා තත්ත්වයට පත්ව තිබිය යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් අවධාණය කළේය.
ඔවුන් පවසන්නේ ඡන්ද දායකයින් වරින් වර නිවෙස් තුළට සීමා කරමින් පැවැත්වෙන මැතිවරණයකින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය , මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය,, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය,, ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය හා,, ලක්බිමේ මවුවරු සහ දියණියෝ යන සංවිධාන හත මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ඇගයීමට ලක් කරන බව මෙම නිවේදනයේ සඳහන්.
කෝවිඩි -19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාටද ප්‍රශංසා කර තිබේ.
මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ කොරෝනා ව්‍යසනය නිසා ලොව පුරා මැතිවරණ 30 ක් පමණ අවිනිශ්චිත තත්ත්වකට පත්ව ඇති බවයි.
මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති පසුබිමක විධායකයේ කාර්යභාරය අතිශයින් තීව්‍ර බව සිහිපත් කරන මෙම සංවිධාන හදිසියේ මතුව ඇති මෙම ගැටලුව විචාරශීලීව විසදා ගැනීමට සෑම පියවරක්ම ගත යුතු බව අවධාරණය කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවවරණය පැවැත්වීම විධායකය හා මැතිවරණ කොමිසම අතර දැඩි මතභේදාත්මක පසුබිමක සිදුනොකල යුතු බවයි.
නිර්මාණයවී ඇති ජාතික ආපදා තත්ත්වය සියලු දෙනාට සාමූහිකව ක්‍රියාකල හැකි ස්වර්ණමය අවස්ථාවක් බව සිහිපත් කරන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අසංවේදී රාජ්‍යකරණ භාවිතයන් අත්හදා බැලීම මගින් එම අවස්ථාව අහිමිකර ගනු ඇතැයි විශ්වාස නොකරන බව සදහන් කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණයට දින නියම කර ගැනීම මෙම ආපදාමය තත්ත්වය කලමනාකරණය සදහා පත්කර ඇති ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය හා අනෙකුත් අදාල සෞඛ්‍ය අංශ මගින් ප්‍රමාණවත් තහුවුරු කරගැනීමක් අවශ්‍ය බවයි.